Follow by Email

Sunday, 31 December 2017

ලංකාව හදන්නේ කොහොමද ? (දහතුන් වියැති ශ්‍රී ලංකික ළමයෙකුගේ යෝජනාවක්)


ලැබුවාවූ 2018 වසර අපේ හිතවතුන් සියළු දෙනාගේම සිතුම පැතුම් සඵල වන යහපත් වසරක් වේවායි පතමු.

ඊයේ හවස ලැබුණු ආරංචියක් නිසා ගමේ සිදුවූ පොඩි දේශපාලන අලකලංචියක් ගැන ලියන්නට සිදුවුණා . එහි පළවූ කමෙන්ටුවක්  මේ සිදුවිම මගේ සිහියට නැගෙන්නට හේතුවක් වුණා.

එදා  2017 ජනවාරි මුලම දවසක්. ඊට දින කිහිපයකට පෙර ලංකාවට  ලඟා වූ අපි කෑගල්ලේ සිට බණ්ඩාරවෙල දක්වා යමින් සිටින මොහොතක්.

මම  මාසික කුළියකට මලිකි එකෙන් ගත හොණ්ඩා වෙස්ල් එක මගේ වගේ එලවන ගමන්.

අපේ සුපුන්  එහා පැත්තේ නිම්මි පිටිපස්සේ.

අපේ වාහනේ නුවර සිට රන්දෙණිගල පාරෙන් ඇවිත් බදුල්ල  හරහා බණ්ඩාරවෙලට එන ගමන්.

කෑගල්ලේ සිටම පාර දෙපස ඇති ගස්වැල්,  කඩපිල් , හරකබාන , කොල්ලෝ කුරුට්ටෝ , එහාට මෙහාට දුවන බල්ලෝ බළල්ලු දෙස බලමින් එන  අපේ සුපුන්  යමක් කියන්නට මෙන් සුදානම් වුයේ  ඇල්ල ප්‍රාදේශීය සභාවට අයත්   හෙල හල්පේ හරියේදී.

මාත් එක්ක දිගටම කතා බස් එකේ ආපු ඔහු වැදගත් කියා කිව හැකි  යමක් කියපු එක අවස්ථාවක් නිසා මේ සිද්ධිය මට හොඳට මතකයි.

අප මෙන් නොව තමා  පසු කර යන  ජීව , අජීව වස්තු ගැන ඉතා හොඳ කල්පනාවකින් ගමන් කල ඔහු  මෙය අප දෙදෙනාටවත් කිව යුතුයි කියා සිතන්නට ඇති.

රට හදන හැටි 

"පුතා මොකෝ කල්පනාව ඔස්ට්‍රේලියාව වගේ නෙවෙයි ලංකාව හරි ලස්සනයි නේද ? " 

විමතියෙන් මෙන් වට පිට සිදුවන හැමදේම නිරීක්ෂණය කරනා සුපුන් ගෙන් මම ඇසුවේ ඔහුගේ කට අවුස්සා ගන්නා රිසියෙන්.

"ලංකාව හොඳයි . හරි ලස්සනයි  හැබැයි පොඩි වැඩ ටිකක් තියෙනවා කරන්න "

අපේ ලොක්කා දේශනාව පටන් ගත්තා .

"හරි හරි කියමුකෝ බලන්න මොනාද කරන්න ඕනේ කියලා ? " නිම්මි පිටිපස්සේ ඉඳන් කතාවට එකතුවුණා.

" මේ පාරේ හැමතැනම කුණු දාන එකයි,  හරක් පාරට එවන එකයි නවත්තලා පාරේ එහාට  මෙහාට දුවන බල්ලෝ පූසෝ ගෙවල් වල තියාගන්න ක්‍රමයක් හැදුවානම් ලංකාව මීටත් වඩා ලස්සණයි"

මගේ වාහනය හෙල හල්පේ හරියෙන් යද්දී සුපුන් තම ගම නගරය හදන යෝජනා මාලාවෙන් කොටසක්  අප දෙදෙනා හමුවේ තැබුවේ එලෙසයි. 




අලි කෙළි සහ ගුටි කෙළි

ලැබුවාවූ 2018 වසර ඔබ සැමට සාමය සතුට පිරි නිරෝගිමත් වසරක් වේවායි ඉතා සිතින් පතන්නෙමු .
(පොඩි ඕපා දුපයක් තමයි අළුත් අවුරුද්දේ ලියන්න වුනේ බුකියේ දැමු පොස්ටුවක් කෙලින්ම බ්ලොග් එකට ගෙනාවා )





බණ්ඩාරවෙල ප්‍රාදේශීයසභාවට අලියා ලකුණින් තරඟ කරන වටගමුවේ "ගම්පොළ අය්යා" තම සොහොයුරාගේ දියණිය වැඩිවියපත් වීම සැමරීමේ උත්සවයක් අල කල ආරංචියක් කනින් කොණින් ඇහෙනවා.
උත්සවයට පැමිණි ගමේ තරුණයින්ට උවමනාවටත් වඩා බීමෙන් සංග්‍රහ කල අපේ අපේක්ෂක තෙමේ එහිදී බරසාර කතාවක් පවත්වා ඇති අතර කතාව අවසානයේ තමන් පලාතෙන් චන්දය ඉල්ලන බවත් වටගමුවේ තරුණ පිරිසගේ චන්ද තමාට ලබා දෙන ලෙසත් ඉල්ලා සිටි බව සැලයි.
"මෙච්චර විනාශයක් කරපු යුඇන්පී එකට නම් අපේ චන්දේ දෙන්නේ නෑ "
යැයි ඔහුගේ අරක්කු වලින්ම සප්පායම් වී සිටි තරුණයෙක් කියා ඇත්තේ ඔය අතරයි.
තමා ඉතා මෑතකදී පිටරට සිට පැමිණි දොස්තර යුවළක් කල පොත් බෙදා දීමක් අල කරන්නට කළ වැඩේ අපේ ගම්පොළ අය්යාට සිහි වී ඇත්තේ ඔය අතරයි .

තම හාම්පුතාට දුරකථන ඇමතුමක් ගත් අපේ කථානායක තෙමේ අතිරේක රටබිම සහ අතිරේක බල ඇණි ඉල්ලා ඇත්තේ චන්දේ දෙන්නේ නෑ කිවූ ගමේ විසේකාර කොළු රංචුවට පාඩමක් උගන්වන්නයි.
ඒ අතරම 119 ගසා අතිරේක පොලිස් බල ඇණි ද ගෙන්වා ගෙන තිබෙනවා.
ඩිෆේන්ඩර්, හමර් , පැජරෝ ආදියෙන් පැමිණි චන්ඩින් සාදයට එක් වි ඇත්තේ "ගම්පොළ අය්යාගේ" බණ්ඩාරවෙල නගරයේ හිතවතුන් ලෙසයි.
පොලිසියටත් බණ්ඩාරවෙල චන්ඩියාගේ ගෝල බාලයින්ටත් හොඳ හැටි පෙවූ අපේ වෙන්ඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රී තුමා ඔවුන් ලවා සිදු කල කැඩිච්ච බෝතල් පහරදීම් වලින් බරපතල තුවාල ලැබූ තරුණයින් කිහිපදෙනෙක් දැන් රෝහල් ගතකර සිටිනවාලු.
"ගම්පොළයාට එක චන්දයක් දෙන්නේ නෑ" කියමින් ගැමියන් ගම පුරා කියමින් යන අතරේ ඉතා සාමකාමී ගැමියෙකු වූ අපේ කථානායකගේ මල්ලී සිදුවූ අලකලංචිය ගැන විස්සෝප වෙනවලු
"අනේ මගේ දුවගේ බිග් ගර්ල් පාටියට වෙච්ච් දේ මේ චන්ද ඉල්ලං යන අයියෙක් නිසා "
කියලා ..
කිරිඔරුව , මාරබැද්ද, වටගමුව කැපුවත් කොළ කට්ටිය එහෙනම් චන්දේ දෙමු මේ ගොය්යට නැත්නම් බෝතල් පාර කන්න වෙයි ලොක්කගේ ගෝලයින්ගෙන් සහ රා බී මත්වූ පොලෝසියෙන් ඕන්...
දැම්මම ඔහොම නම් පස්සේ කොහොම වෙයිද ?
ඔහොම යන් .. ඔහොම යන්.,..


"අපේ පාට කොළ .. අපි නෑ කළබල ..
කෙරුවොත් කළබල.. කවනවා තණකොළ "



....

'A Distant View of Cape Woolamai' - Acrylic Artwork

Saturday, 16 December 2017

දේශප්‍රේමය, ජාතිආලය දෙකටම එහා ගිය මනුස්සකම!!





ස්ථානය: ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ නගරයක පිහිටි ශ්‍රී ලාංකික නිවසක්

වෙලාව: දහවල් බතට සූදානම් වෙන අතර

පසුබිම: ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර අළු බඳුන ටෙස්ට්  ක්‍රිකට් තරඟය රූපවාහිනි තිරයේ. අම්මා බත් බෙදමින්, පුතා සෝෆා වට වෙලා තරඟය නරඹමින්..

නායක ස්ටීව් ස්මිත් ශතකයට ආසන්නයේ

අම්මා:  මේ එංගලන්තෙට බෑනෙ ස්මිත් කාරයව අවුට්කර ගන්න.
දැන් ඔහො ගියොත් මේ පාරත් මෙයා සීය ගහනවා. ඒකෙන් මේකෙන් තුන්වෙනි මැච් එකත් එයාලා පරදිනවා

පුතා: අම්මා ඔස්ට්‍රේලියාවේ ඉඳගෙනත් එංගලන්තේට තමයි සපෝට් එක නේද?

අම්මා: ඔව් මම කැමති එංගලන්තේ දිනනවට . ඇයි පුතාට අප්සෙට්ද ඒකට?

පුතා: ඇයි අම්මලාට තමන් ජීවත් වෙන රටට  චියර් කරන්න බැරි?

අම්මා දන්නවද? එංගලන්තේ ලංකාවට ගිහිල්ලා  මෙහාට ඇවිත් අබොරිජින්  අය මැරුවා වගේ අපේ ලංකාවෙ මිනිස්සු මැරුවා ඔය කැප්පෙටිපොල ලා වගේ අය එහෙම.

අපේ මිනිස්සුන්ගේ ඉඩම් මංකොල්ල කෑවා. කැලෑ

එළි කරලා තේ හැදුවා. ඒ විතරක් යැ . අපේ රටේ තිබ්බ වස්තුව එයාලා රටට අරන් ගියා.


අම්මා: අප්පා මෙයා දන්න දේවල්? ඉතිං ඉතිං?

පුතා: ඉතිං ඔස්ට්‍රේලියාවේ අය ලංකාවට එහෙම මොකවත් කරේ නෑනේ?

තමන් ජීවත් වෙන රට කියලා හිතලා වත් ඔස්ට්‍රේලියාවට සපොර්ට් කරන්න බැරිද?

ඔය  අතර තාත්තා මෙතෙන්ට එනවා.



"ඒයි මෙන්න මෙයා කියනවා එංගලන්තේ ලංකාවට කරපු තරම් හානියක් ඔස්ට්‍රේලියාව කරලා නෑලු. ඒ ගැන වත් හිතලා මෙහෙ ටීම් එකට චියර් කරන්නලු"

"ආ ස්මිත් සීය ගහන්න නේද ලෑස්ති පුතා කියන්නා වගේ මනුස්ස කමට සලකලා අපි මෙහෙ ටීම් එකට සපොර්ට් කරමුකෝ එහෙනම් අද ඉඳන්"

තාත්තා ඔෆිස්  කාමරේ දිහාට ගියා..

"ඔන්න යනවා කතාව ෆේස් බුක් එකේ දාන්න"


 අම්මා කෑ ගහනවා..

ඇත්තටම තාත්තා එතනින් ඉවත් වුණේ තම පුතා හිතන හැටි අහලා නෙත් කොනට එකතු වුණ කඳුලක් පිහින්න...

(අද දහවල් සිදුවූ සත්‍ය සිදු වීමක්)

Thursday, 14 December 2017

සැපේ ඉන්නේ ඕයි!!




පසුගිය දින කිහිපයෙම ලැබුණේ හොඳ ආරංචි.. 

අපේ සහභාගීත්වය ඇතිව සාර්තකත්වය කරා ලඟා වන මිනිසුන්, ගැහැණුන් සහ තරුණ තරුණියන් ගැන.. 

කාගේ කවුද , ඉන්නේ කොහේද, අපිට හිතවත්ද නැද්ද යන්න ගැන නොසිතා ඔවුන් වෙනුවෙන් වෙහෙසී ඒ ඒ අය අද අප්‍රමාණව සතුටු වන අයුරු දුටු විට අපටත් දැනෙන්නෙ වචන වලට පෙරලිය නොහැකි අන්දමේ සතුටක්... 


මිනිසුන් වෙනුවෙන් කැපවෙන මිනිසුන් වෙමු.. 


මා මේ සියල්ලන් ගෙන්ම ඉල්ලන්නේ එපමණයි... 


ජයෙන් ජයම වේවා !!!

Saturday, 2 December 2017

අපි හිතන හැටි..



පාරක අඩි සියයක් දෙසීයක් කොන්ක්‍රීට් කරලා දුන්නම, අපේ දරුවෙකුට සනීපාරක්ෂක කම්කරු, රෝහල් සේවක, ආයතනයක මුරකරු වගේ රස්සාවක් හරි ගන්න ලියුමක් දුන්නම ඒ පළාතේ දේශපාලකයා "අපට වැඩක් කර දුන්නා" කියලා අපි උජාරුවෙන් කියනවා.


ඒ නිසාම ඒ මනුස්සයාම සිදු කරන අයතා සම්බන්ධකම්, අයතා ගනුදෙනු, තම "ගරු තනතුර" අයාලේ යවමින් කරන බොහෝ අලුගුත්තේරු කම් කිසි දෙයක් අපි දැක්කේ නෑ වගේ එයාගේ ගුණම වර්ණනා කරනවා.


න්තිමට ලෝකය සිග්‍රයෙන් ඉදිරියට යත්දි අපිත් අපේ ගමත් තවමත් එතැනමයි කියලා පෙනෙනකොට 
"මේ මේකෙ ඉන්න එවුන්ගේ කරුමේ බොලව්" 

කියලා හිතහදා ගන්නවා.. 

අපිට උඩින් ඇති" කරුමය" අපිට පෙනෙන්නේ නෑ...

Sunday, 26 November 2017

අපේ මිනිස්සු




පාරක් තොටක් හරියට නැතිකොට ඒ ගැන ආණ්ඩුවට බනිනවා , හුල්ලනවා සෙල්ලම් ගොඩයි ..හදල දුන්නට පස්සේ "මේක අපි හැමෝගෙම පාර මේක මේ තරම් අමාරුකම් විඳලා හදා ගත්තේ , මෙහි කාණු දමා කැලේ වැවෙන්න නොදී බලා ගැනීම අපේ යුතුකමක් හා වගකීමක් " කියලා හිතන්නේ නෑ , හිතන්න කැමතිත් නෑ..
කාණු බ්ලොක් වෙනවා , පාර හේදෙනවා ,
දෙපැත්තෙන් කැලේ ඇවිත් පාර වහගන්නවා.. අපි නොදැක්කා වගේ ත්‍රී වීල්, බයික් , කාර් වල නැගිලා උජාරුවෙන් ගමන් යනවා.. අපේ ගමේ, අපේ ගෙවල් වලට යන පාරවල් සීග්‍රයෙන් අබලන් වෙනවා බල බලා..
පෝයදාට , ඉරිදාවල් වලට අහළ පහළ අය එකතු වී ශ්‍රමදානයෙන් පාරවල් එළි පෙහෙළි කල ඉතිහාසය අමතක කරමින් අද වැඩිහිටියන් තම දරු දැරියන් මුහුණු පොතේ "අපි අහවල් වංශේ අත තිබ්බොත් ගෝරි ගොඩයි " කියමින් පෙරලි කරන හැටි බලන් ඉන්නවා..

රටක් , ජාතියක් ලෙස අපි සීග්‍රයෙන් පසුපසට යන බව කට්ටියට තේරෙන්නේ නෑ...

අපිට අබ සරණයි හිටං....


Tuesday, 21 November 2017

උන්ගේ අරක්කු උන්ටම ගහයිද?




පළාත් පාලන චන්ද විමසීම ජනවාරියේ බව පසුගිය දා ප්‍රකාශයට පත් කලේය.

ඒ සමඟම වෙනදාට වඩා උනන්දුවකින් ඒ ගැන සිතන්නට ගම්වාසීන් පෙළඹෙනු දක්නට ලැබිණි.

විශේෂයෙන් බදුල්ල /බණ්ඩාරවෙල පැත්තේ මේ උනන්දුව ඉතා හොඳින් පෙනෙන්නට තිබේ.




එසේ වීමට ප්‍රධානම හේතුවක් වන්නේ උමාඔය ව්‍යාපෘතිය නිසා ඒ පැත්තට ඇතිවු බලපෑමත් පසුගිය ජූලි 28 වෙනිදා බණ්ඩාරවෙල ජනතාව දහස් ගණනින් ඊට එරෙහිව නැගීසිටීමත් කීවොත් නිවැරදියි.

මෙතෙක් තම තමන්ගේ බලකොටු ලෙස මේ ප්‍රදේශය ගම්මාන බෙදාගෙන සිටි එක්සත් ජාතික පක්ෂයත් මහින්ද සමඟින් නැගිටින සහ සාම්ප්‍රදායිකව බලය ඇති නායකයා සමඟ යන කණ්ඩායම් ලෙස දෙකට බෙදී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මේ වනවිටත් තම තම බලකොටු තුලට වෙනත් බලයක් රිංගා ඇති බව තේරුම් ගෙන ඇති සෙයකි.






සමන්ත විද්‍යාරත්න ප්‍රමුඛ ප්‍රදේශයේ මහා සංඝරත්නයත් හීල් ඔයේ වසන්ත සංජීව, එච්. එම්. බෝධිපාල, ලලිත් විජේසුන්දර  වටගමුවේ සුජීවා රත්නසිංහ සහ දිසානායක වැනි උමාඔය සුරැකීමේ සංවිධානය වටා රොක්වූ  අනෙකුත් ප්‍රාදේශීය නායක නායිකාවනුත් කිණිගම අසංක රත්නායක  සහ මධුර උඩුවරගෙදර වැනි ස්වෙච්චාවෙන්ම සමන්තලාගේ ගමනට සවියක් එක් කල තරුණ කණ්ඩායම් නිසාත් බණ්ඩාරවෙල ජනතාව පෙළන ප්‍රධානම ගැටලුව ලෝකය පුරා කතා බහට ලක්වෙන්නක් බවට පත් වුණා.








ජුලි 28 බණ්ඩාරවෙලට ජනගඟක් ගැලුවේ මේ හැමෝගෙම උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසයි. මේ දෙස ඉතා උනන්දුවෙන් බලා සිටි එ.ජා. ප. සහ දෙකට බෙදුනු ශ්‍රී.ල.නි. ප කණ්ඩායම් තම තමන් ඉදිරි චන්දයකදී ඉතාම අවාසි සහගත තත්ත්වයකට වැටෙන බවතේරුම් ගත්තා.







ඒ අනුව ඔක්තෝබර් 14 වෙනිදා පොහොට්ටුවේ කට්ටිය අපේ ගමේ වැඩට බැස්සා.

ඒ තරුණයින්ට තැන දෙනවා කියමින්  ගමේ තරුණ වයසේ පසුවන අයෙක් ප්‍රාදේශීය සභා චන්දෙට ඉදිරිපත් කරනවා කියමින්.

රැස්වීමට ලොකු සෙනඟක් හිටියේ නැතත් ප්‍රදේශයට මෙතරම් හානියක් කල නායකයෙකුගේ නම යටතේ ගමතුලට චන්ද ව්‍යාපාරයක් ගෙන ඒම ගැන සාධාරණව සිතන පිරිස් උරණ වූ බව සැලයි.

"උඹලා අපේ ගම පාවාදෙන්න වැඩ කරනවා මල්ලී .උඹලාට ලැජ්ජා නැද්ද ?

මෙච්චර විනාශයක් වෙලා තියෙද්දි අපේ ගමට පොහොට්ටු ගෙන්වන්න ?

කරුණාකරලා  ඔය වැඩේ නවත්තපන්"

යැයි එවැනි අයෙකුගේ මුවින්  පිට වුණේ ඒ නිසයි.

මේ අතර ගිය සතියේ දවසක මෛත්‍රී පිළේ කට්ටිය වෙනුවෙන් බණ්ඩාරවෙල හිටපු ශ්‍රී ලනි ප මන්ත්‍රී දොස්තර පුෂ්පකුමාර අපේ ගමට ආවා.

"මහඇමති තුමාත් මමත් ඔයාට සම්පූර්ණ සහයෝගය දෙනවා පුතා "

කියමින් ඔහු අපේ ගමේ තවත් තරුණයෙක් ඔවුන්ගේ පිළෙන් චන්දෙට තෝරා ගත් බව පැවසුවා.

එදා දොස්තර වරයාගේ මුහුණටම වාග් ප්‍රහාරයක් එල්ල කෙරුණේ අපේ ගමේ සිටි සාධාරණව සිතන තවත් අයෙක් අතින්.

"ඩොක්ටර් ලා දැන් හදිස්සියේ අපේ චන්දේ ඉල්ලගෙන ආවාට අපේ ගමට කිසි වැඩක් කලේ නෑනේ?

ඔච්චර කාලෙකට අපිට කරල දුන්න එක දෙයක් කියන්න.."

අපේ ගමේ  "පොඩ්ඩෙ අය්යා " මෛත්‍රී පිළේ නියෝජිතයාගෙන් විමසා සිටියා.

දොස්තර වරයා පැමිණි නිවස අසලම පිහිටි ඔවුන්ගේ පැත්තටම සහයෝගය දක්වන වෙලඳ සැලක් පිටිපස්සෙත් "මල්, බාබුල් ආදී ව්‍යාපාරයක්" ජයටම කෙරෙනවාලු. 

මේ ව්‍යාපාර සියල්ල හරහා ගමේ හැදෙන වැඩෙන තරුණ තරුණියන් ජයටම නොමඟට යවන අතරේ ඉන් එක් අයෙක්  චන්ද අපේක්ෂයෙක් ලෙස තෝරා ගැනීමම අපට නම් පෙනෙන්නේ දෛවයේ සරදමක් ලෙසයි.

මේ අතර රෑට රෑට අපේ ගමේ තරුණ පිරිස් එකතුකර අරක්කු පොවන අයෙක් ගැනත් ආරංචි වෙනවා.

පාරම්පරික ශ්‍රී ලංකා කාරයෙකු වන මොහු පොහොට්ටුවට වඩා මෛත්‍රී පිළට සමීප බවයි කියැවෙන්නේ.. 

එහෙත් මෙවැනි චරිත හැරෙන්නේ කොහාටද යන්න තීරණය වන්නේ බලය වැඩි පුර දෝලනය වෙන පැත්ත එළි වීමත් සමඟ බව ඉතිහාසය විසින් පෙන්නුම් කර තිබෙන සත්‍යයක්.. 

මේ අරක්කු සාද කාරයා වගේම කලින් කිව් පොහොට්ටු කාරයන් ඉන්න පැත්තේත් වෙනස් ආකාරයක "මල් ගැසීමේ"  ව්‍යාපාරයක්  දියත් වෙනවා. 

මේ කියන "මල් පොට්" එක පවත්වාගෙන  යන්නේ පසුගිය චන්ද වලදී එක්සත් ජාතික පක්ෂ  රැස්වීම් මෙහයවූ අයකුගේ කඩයක් පිටිපස්සේ කියලයි ආරංචි.

ඒ අනුව මල් ගහන  කණ්ඩායම සහය දෙන්නේ එජාපයටද  පොහොට්ටුවටද දෙකටමද යන්න පැහැදිළි නෑ .

මේ මල් , පොහොට්ටු සහ අරක්කු සාද පවත්වන්නන් සියලු දෙනාම අවුරුදු පනහ-හැට පනපු කොලු තාත්තලා වන අතර තමන් මේ දැන දැනම අමාරුවේ දමන්නේ ගමේ අනාගතය ( අපේ වත්මන් තරුණ පරපුර ) බව  මේ අය ගනණකට ගන්න බව පෙනෙන්නට නැහැ.
ගමේ සහ රටේ අවාසනාවට දෝ මේවා දකින යමක් කමක් වැටහෙන වැඩිහිටියන් හෝ විශේෂයෙන් ගමේ මව් වරු  හෝ මේ කටයුතු වලට විරුද්ධ වෙන්නෙත් නෑ.

මේ අතර  උමාඔය ගැටලුව ගැන තවමත් නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කරන එජාප ය චන්දරේ නම් අයෙක් අපේ පැත්තෙන් පළාත් පාලන චන්දයට නම් කල බව සැලයි.

පුංචි චන්දයට පාරම්පරික පාක්ෂිකයින් මෙසේ පෙළ ගැසෙද්දි ජූලි 28 බණ්ඩාරවෙල හෙල්ලු බලවේගය තවමත් අනුගමනය කරන්නේ නිහඬ පිළිවෙතක්.

උමාඔය සටනේ පෙරමුණ ගත් සමන්ත විද්‍යාරත්න ප්‍රමුඛ කණ්ඩායම කරන්නේ කුමක්දැයි අපේ ගම් පළාතේ ජනතාව ඉතා  උනන්දුවෙන් බලා සිටිනවා..






අරක්කු සාද , රැකියා පොරොන්දු , සෙවිලි තහඩු ආදී චන්ද ගුංඩු බණ්ඩාරවෙල අවට සැරිසරද්දී සමන්තලා තවම නිහඬයි.


අප හා කතා කරන බොහෝ තරුණ පිරිස්

 උමා ඔය සුරැකීමේ සංවිධානය හා සමන්තලා  පළාත් පාලන චන්දයට එයිද ?

එන්නේ ජවිපෙන්ද නැද්ද ?

යන්න ගැන උවමනාවෙන් බලා සිටින බව පෙනෙනවා.

එහෙම වුණොත් පාරම්පරික "අරක්කු පොවන, මල් ගස්වන " කල්ලි අමාරුවේ වැටෙන්න ඉඩ තියෙනවා.


"උන්ගේ අරක්කු උන්ටම ගහයිද? "

 අපි බලා සිටිමු.




Saturday, 18 November 2017

හදවතින්ම ශ්‍රී ලාංකිකයි...





ඔස්ට්‍රේලියාවේදී අහම්බෙන් ශ්‍රී ලාංකිකයෙකු හමු වුණොත් හඳුනා ගන්නේ මෙහෙමයි


1. අප දුටු සැණින් එක්වරම භය බිරාන්ත වූ බවක් මුහුණට ආරූඩ වේ.


2. වහාම අහක බලා ගන්නා ඔහු හෝ ඇය අප නොපෙනෙන තැනකට පිටත් වේ


3.නැවත වරක් ඒ සාප්පු සංකීර්ණයේදීම හමු වුවහොත් වහා අහක බලා ගනී.



......

Thursday, 16 November 2017

මඟුල් පරක්කුව


ඔන්න අපේ එකෙක් හොඳ වැඩක් පටන් ගන්න ඕනේ කියලා හිතුවා.  ගමට රටට ප්‍රයෝජනවත් වෙන දෙයක්....

අහල පහළ ඉන්න හිතවත්ම කිහිප දෙනෙකුටත් කිව්වා තමන්ගේ අදහස ගැන..

ඒක අහපු හිතවතුනුත් ඒ ගැන උනන්දු වෙන්න ගත්තා ටිකෙන් ටික...

මිනිහා තවම කල්පනා කරනවා , සැලසුම් හදනවා වැඩ ගොඩයි..

ඔහොම සතියක් ගතවෙනවා.. අපේ මෑන්ස් තවම සැලසුම් හදනවා වැඩේ තව සතියකට කල් දානවා..

 ඔහොම ටිකෙන් ටික කාලය ගෙවිලා යනවා .

අනික් අය ගේ උනන්දුව දැන් වැඩියි අපේ හාදයාගේ උනන්දුවට වඩා..

අපේ ලොක්කා තවමත් හඳහන් බලනවා..

දැන් වැඩේ මාසයකටත් එහාට ඇදිලා ගිහින් .

යාළුවෝ මෑන්ස්ට "කරදර " කරනවා.

"මචං අර වැඩේ? "

" මල්ලී ඔයා ලෑස්තිද?

ඔන්න අපි නම් රෙඩි..."

 ම්හු.. විෂේශ දියුණුවක් නෑ.

තවමත් මුල් දවසේ කියපු සැලසුම ගැනමයි අපේ ලොක්කා ගේ කතාව.

අනික් උන්ගෙත් උනන්දුව අඩු වෙනවා..

වැඩේ එතනමයි..

"මඟුල්"  පරක්කුව..

Sunday, 12 November 2017

අපේ ගමේ තරුණ තරුණයින්ට දුන් පළමු අවවාදය




ඔය අපේ ගම පැත්තේ ඉන්න තරුණ වයසේ පසුවන දුවලා පුතාලට විශේෂ මතක් කිරීමක්.... 

ඔබ දැනට පාසැල් යනවා නම් පාසැල් වැඩ කටයුතු ඉහළින්ම කරන්නට උත්සාහ කරන්න ..පාසැල් ගොස් අහවර නම් තාක්ෂණික පාඨමාලාවක් , ඉංග්‍රීසි දැනුම දියුණු කර ගැනීම , රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම වැනි ඔබේ අනාගතයට ප්‍රයෝජනවත් දෙයකට යොමු වෙන්න ...

 ඔබේ දෙමව්පියන් මෙතෙක් පත්කරගත් පාලකයන් ඔබේ අනාගතය , රටේ අනාගතය වෙනුවෙන් කිසිවක් සැලසුම් කර නැහැ.

 ගම්වල ඉන්න ඒ පක්ෂ වල ගැත්තන් දෙන රැකියා පොරොන්දු පස්සේ යමින් මුහුණු පොතේ "සැපේ ඉන්නේ... ඉන්නකං නේ බං..., පහර... , පට්ට ,පදිරි , කොර, තද .... කියමින් අනුන් යමක් කරදෙන තෙක් බලා නොසිට තමන්ම "පට්ට වැඩකට" බසිමු.. 

අපට රටට හොඳ අනාගතයක් හදා ගමු.. 

මෙතක් අපේ ගම්වලින් බිහිවූ රට හා ලෝකය දිනු මිනිස්සු එක්කෝ හොඳට ම අධ්‍යාපනය කටයුතු වලින් ඉහලටම ගිය අය නැතිනම් තාක්ෂණික, ස්වයං රැකියා අංශයෙන් ඉහළට ගිය  අය.

 පොරොන්දු දේශපාලනය පස්සේ ගිය අය නැවතුනේ එතැනමයි.. 

එයාල තවමත් ඔබ සහ ඔබේ දෙමව්පියන් රවට්ටමින් තම තමන්ගේ වැඩ කරගන්නවා. 

හැබැයි ගමටවත් රටට වත් කරන සෙතක් නෑ...

(මගේ මුහුණු පොතේ පළ කල කෙටි සටහනක්)........

Saturday, 4 November 2017

බාලගිරි අදත් නොවේ.. හෙටත් නොවේ ..ලබන සතියේ





පසු ගිය කළාපයෙන්



අපේ අක්කාගේ කීම අසා පාරේ වැඩ නවත්වා දැමූ මම ටික කාලයක් වෙන වෙන වැඩ වලට යොමුවුණා.

අපේ ගමේ සහ අවට පවුල් දෙකකට නිවාස හදාගන්න සහයෝගය දෙන්න ගත්තේ මෙන්න මේ දවස් වල .


ඔහොම  ටික කලක් ගත වෙද්දී අපේ තාත්තාත් නිතර නිතර  ප්‍රාදේශීය සභා සභා ලොක්කට කතා කරලාම ඇති වෙලයි හිටියේ.

මේ අතර එතෙක් තුන් පැත්තකට පමනක් බෙදී තිබුණ පාරේ කෙලවරින් තවත් පැත්තකට පාර ගෙනයන්න අපේ ගෙට පහළ පැත්තේ කට්ටිය අලුතින් පාරක් කැපුවා.

ඒ නිසා එකම මගක යන පිරිසට තවත් පවුල් තුනක් එකතු වුණා.

අපේ තාත්තත් අලුතින් පත්වුණ මහඇමති තුමා වෙතටත් පාරේ කතාව අරන් ගියා.


මේ කිසි උත්සාහයකින් ඔහුට   තමන්ට අවශ්‍ය දේ කර ගන්න බැරිවුණා.

දැන්පාරේ ගමන් කරන පවුල් ගණන දහයකටත් වැඩියි.

මම පාරවල් සම්බන්ධ ආයතනයක ඉහළ නිලයකට කතා කලා.

" ඒක නෙවෙයි ඔයා අහවල් ආයතනයේ නේද දැන්ඉන්නේ ?

"ඔව් අය්යා මෙහාට ඇවිල්ලා දැන් අවුරුද්දකට වැඩියි "

 "අපේ ගමේ පාරක් තියෙනවා කවුරුත් බලන්නේ නැති .... ඒක ගැන පොඩ්ඩක් බලන්න බැරිද?"

"පුළුවන් අය්යා මොකක්ද කෙරෙන්න ඕනේ ?"

" මේක මේ අපේ  තාත්තයි අහල පහල ගෙවල් වල අයයි අවුරුදු ගාණක් තිස්සේ කර ගන්න දඟලන එකක්  .

කිසිම දේශපාලකයෙක් ඒ ගැන බලන්නේ නෑ . මේ පාර කරලා දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක් "

"හරි අය්යා පවුල් හත අටකට වඩා යන පාරක් නම්  අපිට කරන්න පුලුවන්  .

ඒ පාරේ යන සියලුම දෙනා අත්සන් කරලා ඉල්ලීමක් කලොත් "

 ඒ අනුව මුලින්ම  අදාළ රාජ්‍ය ආයතනයට ලිපියක්  යොමුකලා  මේ මාර්ගය තම නිවාස වලට ප්‍රවේශ මාර්ගයක් ලෙස පාවිච්චි කරන හැමෝම එකතු කරගෙන.

සියලු දෙනාගේ  අත්සන් සහිත  ඒ ලිපිය අදාල කාර්යාලයට ලැබුණු පසු  එය ඔවුන්ගේ සහය ලැබිය යුතු ව්‍යාපෘතියක් ලෙස අනුමත වුණා.

ප්‍රධාන කාර්යාලයේ  මගේ පුද්ගලික හිතවත් කමක් තිබීම  මෙහිදී සැහෙන්න ප්‍රයෝජනවත් වුණා කීවොත් නිවැරදියි.

අනතුරුව  ඔවුන්ගේ   අනුදැනුම මත අපේ නගරයේ පිහිටි අදාළ රාජ්‍ය ආයතන සමගත්  සබඳතා ගොඩ නගා ගත්තා


ඒ  මමත් තාත්තත් දෙදෙනාම ඒ ඒ ආයතන වල නිලධාරීන් නිලධාරිනින්  හා කෙලින්ම කතා කිරීම මඟින්.

මේ සියලු කටයුතු කෙරුණේ අපේ ප්‍රදේශයේ දේශපාලකයින් හෝ ඔවුන්ගේ අපේ ගමේ සිටින අනුගාමිකයින්ට නොදැනෙන අයුරින්.

ඒ සඳහා ඉමෝ , ව්‍යිබර් , මුහුණු පොත ආදිය හරහා කාර්යාල තුනක සිටි අදාළ නිලධාරින්සමඟ ගනු දෙනු කරන්නට මට සිදුවුණා.

සති දෙකක් වැනි කෙටි කාලයක් තුල ව්‍යාපෘතියට අදාළ ඇස්තමේන්තුව සකස් වී අනුමත වීම අප ලැබූ ලොකු ජයග්‍රහණයක්.

ප්‍රධාන කාර්යාලයේ වගේම බණ්ඩාරවෙල පිහිටි අනෙකුත් කාර්යාල /ආයතන වල නිලධාරි මහත්ම මහත්මීන් බොහෝ දෙනෙක් මේ වෙනුවෙන් සහයෝගය දුන්නා.

කොන්ත්‍රාත් කරුවන් සෙවීම 




ව්‍යාපෘතිය අනුමත වීමෙන් පසු එළැඹියේ එය කිරීමට කැමති කොන්ත්‍රාත් කරුවෙක් සොයාගැනීමයි. බාලගිරි දෙවැනි වතාවට  අප සොයා ආවේ මේ අවධියේදී. 

මා දන්නා මිතුරු මිතුරියන් ගෙන් මෙන්ම තාත්තා දැන සිටි අයගෙන් ලැබුණු අවවාද ඔස්සේ කොන්ත්‍රාත් කරුවන් කිහිප දෙනෙකුටම කතා කලා.

එහෙත් පාර බලන්නට පැමිණි බොහෝ කොන්ත්‍රාත් කරුවන් කියා සිටියේ අදාළ ව්‍යාපෘතිය ප්‍රාදේශීය සභාව හරහා ලැබෙන්නේ නම් තමන් එය කරන්නට කැමති බවයි.

එහෙත් ව්‍යාපෘතිය අනුමත වී තිබුණේ මාර්ග සංවර්ධන අධිකාරය හරහා කෙරෙන ව්‍යාපෘතියක් ලෙස.

එයට හේතුව ලෙස ඔවුන් පැවසුවේ මාර්ග සංවර්ධන අධිකාරය සමඟ ගණුදෙනු එතරම පහසු නැති බවත් විශේෂයෙන් මුදල අනුමත වෙන්නට මාස ගණනක් වුව ගතවිය හැකි බවත්ය.

මේ අතර මා හා තාත්තා වරින් වර සෙවූ කොන්ත්‍රාත් කරුවන් හෙමින් හෙමින් මග හැර යද්දී එක් අයෙක් ගැන තාත්තාගේ අවධානය යොමුවුණා. මමත් මෙහි සිටි කිහිප වතාවක්ම ඔහුට දුරකතයෙන් කතා කලා.

"ඩොක්ටර් RDA එකේ ප්‍රොජෙක්ට් කරලා සල්ලි ගන්න අමාරුයි හැබැයි"

ඔහුත් පරණ කතාවම කියන්න ගත්තා.

"හරි හරි මම කොහොම හරි ඉක්මනට සල්ලි අරන් දෙන්නම් .

ඔයා හිරවුනොත් අපි උදව් කරනවා බය වෙන්න එපා .

වැඩේ පටන් ගන්න  "

මම ඔහුව උනන්දු කෙරෙව්වා.

එසේ කීමෙන්  මම අදහස් කලේ වැඩ ඉවර කරලත් ඔහුගේ මුදල් නොලැබුනොත් ඔහු ට ඉදිරියට කර ගන්නට ඇති වැඩ වෙනුවෙන් ණයක් වුනත් දෙන්නට මා සුදානම් බවයි.



දුරකථන ඇමතුම් දහයක් පහළොවක් දුන් පසු සති දෙක තුනක්ම ගතවුණා.

වැඩේ පටන් ගන්න පාටක් නෑ.

මම තාත්තාටත්  කොන්ත්‍රාත් කාරයටත් මාරුවෙන් මාරුවට කරදර කලා .


 අවසානයේ  පාරේ මුලික පස් සකස් කිරිමට පස් කපන යන්ත්‍රයක් එවන්න කොන්ත්‍රාත් කරු තීරණය කලා.




මේ තියෙන්නේ පාරේ වැඩ කෙරෙන මුල් අවස්ථාවේ ගත් චායාරූප ...





















දවස් දෙකක් ඇතුලත පාර මට්ටම් කල කොන්ත්‍රාත් කරු තාත්තට අළුත් යෝජනාවක් කලා.

" මේ දවස් වල මගේ අතේ සල්ලි නෑ. RDA වැඩ කරාම තවත් සල්ලි හිරවෙනවා .


 කියුබ් එකක් අහවල් ගාන ගානේ කොන්ක්‍රීට් ගෙනැත් දෙන කම්පැනියක් තියෙනවා.

 මේ මීටර් ගාන කරන්න ලක්ෂ හයක විතර කොන්ක්‍රීට් ඕනේ .

දොස්තර මහත්තයට කියන්න කොන්ක්‍රීට් වලට යන සල්ලි මට ලෝන් එකක් විදිහට දෙන්න කියලා

එහෙම වුනොත් සතියෙන් දෙකෙන් මේ පාර ඉවර කරලා දෙන්න පුළුවන්"


තාත්තා යෝජනාව මා වෙත ගෙනාවා.

"අපි සල්ලි දානවා නම් අපිටම කොන්ත්‍රාත් එක ගන්න තිබ්බනේ

මට නයට සල්ලි දෙන්න විදිහක් නෑ .

එයා ගේ අනික් වැඩ ඉවර වෙලා කරන්න කියමු "

 ඒ අනුව අපේ වැඩේ නතර කල කොන්ත්‍රාත් කරු තව මාසයක් ඒක හමාරක් යන තෙක්ම වැඩේ කල් දමමින් හිටියා.

"තව පොඩි වැඩ ටිකක් තියෙනවා . ඉවර කරලා එන්නම් "

 හැමදාම තාත්තා කතා කරද්දී යන පිළිතුර ඔහු දෙන්නට පුරුදු වුණා.


මම නිතර නිතර තාත්තාගෙන් අහනවා කවද්ද කොන්ත්‍රාත් කාරය ආපහු එන්නේ කියලා

"එයාට තව පොඩි වැඩ ටිකක් තියෙනවලු . ඉවර කරලා අද හෙටම එයි "

ඔහු බලාපොරොත්තු සහගතව පවසනවා.

මෙහෙම මාසයකට ආසන්න කාලයක් ගෙවී ගියා ..

මගේ පැත්තේ ඉවසීමේ සීමාවත් ඉක්මවා යන්න ලඟයි.

මම තවත් වතාවක් කොන්ත්‍රාත් කාරයට කතා කලා

" ඒක නෙවෙයි . තාත්තා කියනවා ඔයා තව සතියකින් එනවා,  දෙකකින් එනවා කියලා ඇත්තටම කවද්ද එන්නේ ?

මට කෙලින්ම ඇත්ත කියන්න ඔයා මේ වැඩේ කරන්න අකමැතියි නේද ?"

"නෑ ඩොක්ටර් මට පොඩි වැඩ වගයක් තිබුණා. "

ඔහු තව තවත් වැඩේ කල් දාන අරමුණෙන් වගේ කතා කරනවා.

"හරි ඒකට කමක් නෑ .

මම ළඟ මිනිහෙක් ඉන්නවා .

ඔයා භාගෙට කරපු ටිකට පස්සේ සල්ලි දෙන්නම් අපි ඒ මනුස්සයා දාල වැඩේ කරන්නද ?"

"හරි ඩොක්ටර් කමක් නෑ . එයා දාලා කරවන්න . මට ඩෝසර් කරපු සල්ලි පස්සේ ගන්න බැරියැ"

ඔහු ඒක පයින්ම මගේ යෝජනාවට කැමති වුණා.

මේ වෙනකොට අපේ අම්මලා ගෙදර තාප්පයක් බඳින්න මේසන් බාස් කෙනෙකුට දීලා තිබුනා

ඔහු අසල ලැයිමක ජිවත් වූ රාමන් නමැති  තරුණ මේසන් කෙනෙක් .


මම මේ මේසන් බාස් එක්ක කතා කරලා ඔහු වැඩේට කැමතිද ඇසුවා.


"රාමන් ඔයා මේ කොන්ත්‍රාත් එක බාර ගන්න හදිස්සියක් වුනොත් මම උදව් කරනවා "

ඒ අනුව රාමන් වැඩේ පටන් ගත්තා .

මමත් , අපේ අය්යා , අක්කා ඇතුළු හැමෝමත් එකතු කරගත් තාත්තා  රාමන් ට සිමෙන්ති, වැලි සහ කළුගල් වලට ගිය මුලික වියදම ණයක් ලෙස ලබා දුන්නා.

ඒ මුදල  රුපියල් ලක්ෂ හය හමාරක් හතක් විතර වුණා.


අවසානයේ  දවස් දහයක් වැනි කාලයකින් පාරේ වැඩ ඉවර කරන්නට මේ තරුණ මේසන් වරයා සහ ඔහුගේ සගයින් සමත් වුණා.


RDA එකේ තාක්ෂණික නිලධාරීන් , ඉංජිනේරුවන් ඇතුළු සියලු දෙනා ඔහු ඉතාම ඉහල ප්‍රමිතියකින් යුතුව පාර නිමකර ඇති බව සනාථ කලා.



මේ තියෙන්නේ ඒ දෙවන පියවරේදී ගත්  චායාරූප

















රාමන් ඇතුළු පිරිස පාරේ වැඩ කරමින්















Sunday, 29 October 2017

බාල ගිරි ..... අද නොවේ... හෙට.......



අද කියන්නට යන්නේ අපේ ගෙවල් පැත්තට යන පාර ගැන කතාවක්   අපේ මහ ගෙදරට යන පාර.

මේ කියන පාර  අපේ අම්මලා ඉන්න ගෙදර සහ අසල්වැසි පවුල් අටකට වාහනයකින් ලඟා වන්නට තිබෙන එකම ප්‍රවේශ මාර්ගයයි.

අපි ඉස්කෝලේ යන කාලේ අපේ නිවස තිබූ කඳු මුදුනේ සිට මල්වත්ත දක්වා වූ කිලෝ මිටර් එක හමාරක පමණ වූ දුර ගමන් කලේ පයින්මයි.

ඒත් අපේ අසල්වැසි නිවාස වල සිට පාසැල් යන ළමුන් දැන් ගමන් කරන්නේ මේ කියන පාරේ ත්‍රී විලර් එකකින් හෝ යතුරු පැදියකින් ( ඔවුන්ගේ දෙමව්පියන්ට අයත් වාහන)

වර්තමානයේ මේ පාර ප්‍රයෝජනයට ගන්නා පිරිස අතර සුසුකි ඇල්ටෝ වර්ගයේ වාහන හිමියන් තිදෙනෙක්, ත්‍රී විලර් හිමියන් දෙදෙනෙක් , යතුරු පැදි හිමියන් හතර පස් දෙනෙක් ඉන්නවා.

ඒ වගේම උමා ඔය ව්‍යාපෘතිය නිසා බීමට වතුර නැති වී ඇති අපේ ගම පුරා බෙදා හරින්නට වතුර රැගෙන එන බවුසරයත් මේ පාරේ ගමන් කරනවා ( ගම පුරා වතුර බෙදන ටැංකිය තිබෙන්නේ අපේ අසල්වැසියෙකුගේ ඉඩමේ)

මේ අය බොහෝදෙනෙක් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ අනුගාමිකයෝ ( අපේ දෙමව්පියන් සහ සොහොයුරියන්ගේ පවුල් ප්‍රභල ශ්‍රී ලංකා පාක්ශිකයින් වන අතරේ අසල්වැසි පවුල් දෙකක් තුනක්ම ප්‍රභල එක්සත් ජාතික පක්ශ ආධාර කරුවන් ලෙස පෙනී  සිටිනවා).

බණ්ඩාරවෙල ප්‍රදේශයේ ප්‍රසිද්ධ සංචාරක බංගලාවක් වූ කේෂන් බංගලාවට  සහ අසලඇති ගල උඩ පුටුව නම් මනරම් ස්ථානයටත් මේ පාරෙන් ලඟා වෙන්න පුලුවන්.



"සෙනොක් එස්ටේට්" නම් අලුත් නමකින් හැඳින්වෙන මේ අක්කර පණහ වත්ත නම් තේ වත්ත සහ කේෂන් බංගලාව හිටපු පාලකයෙකුගේ පුතෙක් මිලදී ගෙන ඇති බවත් ඔහු විසින් ඉහතින් කියූ බංගලාවට ලලනාවන් රැගෙන හෙලිකොප්ටර් වලින් ආ ගිය කතාවත් අපේ පැත්තේ ප්‍රසිද්ධ රහසක්.



මේ කතා සියල්ල එසේ වුවත් මා මේ කියන ගුරු පාර වැඩි දියුණු කරන්නට කිසිම රජයක් හෝ තේ වතු හිමියෙක් උනන්දු වුණේ නෑ.

පසුගිය රජය සමයේ බණ්ඩාරවෙල ප්‍රදේශය නියෝජනය කල නිදහස් පක්ෂ මන්ත්‍රී තුමා වෙත ගිය මොහොතක එතුමා අපේ තාත්තාට කියා තිබුණේ

"අන්කල් ආයිත් පාරක් හිඟා කන්න ආවද?

 ඔය පාර හදන්න දෙන්න ප්‍රතිපාදන මා ලඟ නෑ.."

 යනුවෙනි.

පාර අවසානයේ තුන් පැත්තකට බෙදී යන ස්ථානය දක්වා ප්‍රධාන පාරේ සිට  ඇති දුර අඩි අටසියයක්.

 කිසිදු දේශපාලකයෙක් අත නොතැබූ මේ මාවත වැඩි දියුණු කරන්නට මම අත ගැහුවේ 2011 වගේ කාලෙක.

ඒ වරෙකට රුපියල් ලක්ෂය බැගින් හතර වතාවක් අපේ තාත්තට මුදල් දී  අඩි 300 ක පමණ මුල් කොටස මගේ පුද්ගලික මුදල් යොදවා කොන්ක්‍රිට් කිරීම මගින්.

 මගේ මුදල් , තාත්තගේ සහ අපේ මස්සිනාලගේ ශ්‍රමය මැද පාර අඩි සියයෙන් සියය කොන්ක්‍රීට් වෙද්දී අසල්වැසි පවුල් නිහඬව ඔහේ තම තම වාහන වල ගමන් කලත් අපේ අයට උදව්වට ආවේ නෑ.

ඒ නිසාමදෝ කොහෙද මගේ උනන්දුව තිබුණත් පාර දිගින් දිගටම කොන්ක්‍රිට් කිරීමට අපේ පවුලේ අයටෙ උනන්දු වුණේ නෑ .

ඒ වෙනුවට අපේ අක්කා සහ ඇයගේ සැමියා නැවතත් ඔවුන්ගේ හිත මිතුරෙක් සහ මගේ උසස් පෙළ පංති සගයෙකු වූ දේශපාලකයෙකු වෙත යොමුවුණා.

ඒ එවකට සිටි බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති වෙත.

"අක්කා උඹලා මල්ලිට පිස්සු . ඌට නිකං ඉන්න කියපන්.

 මම ඕකට සල්ලි පාස් කරලා දෙන්නම් "අපේ ඩොක්ටර්"  ට ( පලාතේ මන්ත්‍රී) කියලා. "

ඒ බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ගේ වචන.

ඒ අනුව මා තනියෙන් ගොඩනඟමින් තිබු අපේ පාරට පළමු වතාවට බාලගිරි ලඟා වුණා.

ඒ මගේම පාසැල් මිතුරෙකු හරහා.

සමන්සිරි කියනවා මල්ලිට පාර කරන්න එපාලු . එයා ඊලඟ අය වැයෙන් සල්ලි අරන් දෙනවලු . මල්ලි අපි ටික කාලෙකට වැඩ නවත්තමු නේද?


අක්කා පළමු බාලගිරි දෝෂයට අහුවුණේ එහෙමයි.

(මේ "ඩොක්ටර්"  තමයි අපේ තාත්තාට කලින් පාරට මුදල් අනුමත කල නොහැකි බව කියලා තිබුණේ.

වර්තමානයේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ ශ්‍රී. ල.නි. ප. යට අත්වී ඇති අභාග්‍ය සම්පන්න ඉරණමට මේ දෙන්නාත් අපේ ඉස්කොලේ ගිහින් හමුදාවට සම්බන්ධ නිසා පළාතේ නියොජනයට ආ තුන්වෙනි "අහසින් පහත්වූ" ශ්‍රී ලංකා නියෝජිතයාත් හවුල්.

මේ අය තමන්ගේ පළාතේ ජනයා පෙළන උමා ඔය ව්‍යාපෘතිය වගේ දේවල් ගැන තම හඬ අවදි කලේම නැහැ.


තුන්වෙනියට කිව් පළාත් සභා මන්ත්‍රී කොහොමද දන්නේ නැහැ හැබැයි අනිත් දෙන්නා දේශපාලනය කරනවා කියලා කරේ මළ ගෙවල් වල ගිහින් අරක්කු බී බී ජනතාව එක්ක සමීප වුණ එක කියලයි මම අහලා තියෙන්නේ. )

කරුණු එසේ වුවත් මේ තුන් දෙනාම තමන්ට බලය තිබුණු කාලයේ අපේ ගම්වල ඔවුන්ගේ හෙන්චයියලා කියන කේලාම් අසා එක්දහස් නවසිය පනස් ගණන් වල සිට ශ්‍රී ලංකා එකේ ප්‍රමුඛයන් වූ අපේ තාත්තලාට කෙනහිලි කම් කලා.

ඒත් අදටත් අපේ දෙමව්පියෝ සහ නෑදෑයෝ තම "උපන් පාක්ෂික කම "  නිසා මේ "අහසින් පහත් වූ"  පිරිසට සාම්ප්‍රදායිකව චන්දය දෙනවා, ඊට පස්සෙ ඔවුන්ගේ පස්සෙන් යනවා පාරවල්, ජල ව්‍යාපෘති ‍ය  රැකියා ස්තාන මාරු වගේ දේවල් ඉල්ලාගෙන.

මේ බව සනාථ කෙරෙන කියමනක් කියවුණේ ඔය කියන සමන්සිරි ගෙන් මම පසුගිය වතාවක බණ්ඩාරවෙල  ආ වෙලාවේ.
මට අපේ ආදී ශිෂ්‍ය හමුවකදී සමන්සිරි හම්බවෙනවා.

" හා මචං කවිඳු.. කවද්ද ලංකාවට ආවේ?

"ටික දවසක් වෙනවා. ඒක නෙවෙයි උඹ අපේ පාරට මොකද කරන්නේ? මම කරන එකත් නවත්තවව්වා අපේ අක්කලා රවට්ටලා දැන් උඹට ඕක කරන්න වෙයි"

" මචං අක්කයි , අය්යයි මාර සපොර්ට්  එකක් දුන්නාට මට සභාපති වෙන්න.. ඒකයි මම අක්කට කිව්වේ උඹේ පුද්ගලික සල්ලි ඕකට දාන්න ඕනේ නෑ අපි ප්‍රාදේශීය සභාවෙන්  ඒක කරන්නම් කියලා"

" හරි පුතා උඹට පුලුවන් නම් පාර කරපන් . 

හැබැයි බොරු පොරොන්දු දෙන්න එපා.. 

උඹ එහෙම පොල්ල තිබ්බොත් අපේ ගමේ උඹට තියෙන චන්ද ටික නැතිවෙයි"

"මොන පිස්සුද මචං ඔය උඹලා පවුලේ ජයසිංහලාගේ චන්ද ටික අපිට කවදත් ලැබෙනවා"

"හරි  අපි බලමුකෝ මේ සැරේ. 

උඹ මම කර කර හිටපු වැඩෙත් නතර කරවලා දැන් අනිවාර්යයෙන් මේ වැඩේ කරන්න වෙයි.
නොකරොත් මම ආපහු පාර පටන් ගන්නවා . 

හැබැයි ඔක්කොම ජයසිංහලා නැතත් අපේ ගෙදර ටික හරි උඹලාගෙන් අයින් කරනවා."

මම සමන්සිරිලාගේ දේශපාලන අනාගතය 2014දී දැක්කේ එහෙමයි.

2018 දිත් සමන්සිරිලා පොහොට්ටුවෙන් හරි බුලත් කොලෙන් හරි මතුවෙයි .


අපේ ගම්වල මිනිස්සුන්ට මේ අයට පාඩමක් උගන්වන්න තරම් මොළයක් පෑදුනොත් හරි.









මේ පාරේ ඉදිරි වැඩ .. කියවමු මෙතනින්...

Sunday, 8 October 2017

ජිවිත රැසක් බේරන්නට දැන දැනම දිවි පිදු සොඳුරු මිනිසෙක්


දිනය ඔක්තෝබර් දෙවැනිදා.  කීර්ති බණ්ඩාර තම සුපුරුදු රැකියාවට ( බණ්ඩාරවෙල ඩිපෝවේ බස් රථ රියදුරු)  පිටත් වුණේ තම දරු දෙදෙනා සහ ආදරණීය බිරිඳව දකින්නට නිවසට එන බලාපොරොත්තුවෙන්.

කීර්ති වැඩ කලේ බණ්ඩාරවෙල සිට හපුතල හරහා "ඌව කොස්ගම" දක්වා ධාවනය කෙරෙන බස් රථයේ.

මේ කියන වෙලාවේ  මගින් විස්සත් -තිහත් අතර පිරිසක් රැගත්  බස් රථය කීර්ති විසින් කොළඹ - බදුල්ල මාර්ගයේ ඌව කොස්ගම දෙසට ධාවනය කරමිනුයි සිටියේ.

බසය තිබුණේ හපුතලත් බෙරගල හන්දියත් අතර දැඩි වංගු සහිත කවුරුත් බෙරගල පල්ලම ලෙස හඳුන්වන කොටසේ.

වම් පසින් හපුතල කඳු බෑවුමත් (කොස්ලන්ද දෙසට ඇති)  දකුණු පසින්  උස වේල්ලත් තිබෙන කොටසක්.

මගීන් බොහෝ දෙනෙක් තම දවසේ වැඩ නිමවී ගෙදර යමින් සිටියේ ප්‍රිය අඹු දරුවන් දැක බලා ගන්නටයි.

කීර්ති වුණත් ඉන්නට ඇත්තේ "ටර්න්" එක ඉවර වී බසය නවතා දමා නිවසට යන බලාපොරොත්තු වෙන්මයි.

බසය ඇතුළේ තිබු සාමකාමී වාතාවරණය බිඳ හෙලමින්  යමෙක් උස්හඬින් කෑ ගසනු ඇසුණා.


"බස් එකේ බ්රේක් නෑ.. හැමෝම පිටිපස්සට යන්න .. හැමෝම පිටිපස්සට යන්න "


කියමින් රියදුරු කීර්ති බණ්ඩාර  කෑ ගසනවා.

 පල්ලැහැහින් පෙනෙන  පල්ලම දකින ඕනෑම කෙනෙකුට දෙවියන් සිහිවෙන මොහොතක්.

සියළුම මගීන් බස් රථයේ පිටිපස්සටම ඇදුනා.

ඒ අතරේ බසය අධික වේගයෙන් බෙරගල පල්ලමේ පහළට ඇදෙනවා.

රියදුරු කීර්ති බණ්ඩාර  බසය   පල්ලම දෙසට යන්නට නොදී   පාලනය කර ගන්නට උපරිම වෙර දරනවා.

අවසානයේ අධික වංගු සහිත මාර්ගයේ බසය පල්ලමට යා නොදී වලක්වන්නට ගත හැකි හොඳම ක්‍රියා මාර්ගය ගන්නට කීර්ති තීරණය කරනවා.

ඒ බසය රියදුරු අසුන පැත්තේ ( දකුණු පැත්තේ ) වූ වේල්ලට අල්ලා නවත්වන්නට තීරණය කිරීමෙන් .

අනිවාර්යයෙන් තමන්ගේ ජීවිතය අනතුරේ බව දැන දැනත් ඔහු මේ තීරණය ගන්නේ බසය අනික් පස පල්ලමට අල්ලා දකුණු පස රියදුරුට ඇති "හදිසි දොරටුවෙන්" පැනගන්නට  තමාට හැකි බව හොඳින් දැනගෙනමයි.

මේ වෙලාවේ කීර්ති බණ්ඩාරට තම දහය වසරේ ඉගෙන ගන්න වැඩිමහල් දරුවත්  දෙක වසරේ සිටිනා බාල  දියණියත්  සිහිවන්නට ඇති.

එහෙත්  තමාගේ  ජීවිතය පරදුවට තබන  මේ සොඳුරු මිනිසා තව ජිවිත විසි ගණනක් බේරා අපෙන් සමු ගන්නවා.

ඒ තම රාජකාරිය දේව කාරියක් ලෙස ජිවිතයේ අවසානය දක්වා ඉටු කරමින්.

"ජිවිත රැසක් ඔබ අතේය " අපි පාසැල් යන කාලේ බණ්ඩාරවෙල ඩිපෝවේ බස් වල රියදුරු  පිටුපස බලන කණ්නාඩියේ  ගසා තිබුණා මට මතකයි.

අපි පාසැල් ගියේ  මාර්ග අංක 320 ඇටම්පිටිය -බණ්ඩාරවෙල බස් රථයෙන්

අධික කඳු බෑවුම් සහිත බණ්ඩාරවෙල- ඇටම්පිටිය මාර්ගයේ  මේ 320 බස්රථය වංගුවක්   ගන්නා වාරයක් පාසා  "ජිවිත රැසක් ඔබ අතේය " කියන  වාක්‍යය ඛණ්ඩය රතු පැහැයෙන් වර්ණ ගැන්වෙනවා.

කීර්ති බණ්ඩාර පැදවූ බස් රථයේ එවැනි වාක්‍යයක් ලියා තිබුණත් නැතත් ඔහු එදා  ක්‍රියාකර තිබුණේ ජිවිත රැසක් ඔබ අතේය යන්න  ඔහුගේ හදවතේම සටහන් කර තිබු පරිද්දෙන්.

කීර්ති බණ්ඩාරගේ මේ පරාර්ථකාමීත්වය අගය කරමින් පසුගියදා මම මුහුණු පොතේ කෙටි සටහනක් දැම්මා.

එය දුටු අපේ ගමේ මල්ලී කෙනෙක්

"අය්යා මේ මගේ පංතියේ ඉන්න ළමයෙක් ගේ තාත්තා .

 දන්නා හැටියට පෙන්ෂන් එකකුත් නෑ.. 

ඉස්කෝලේ යන ළමයි දෙන්නෙකුත් ඉන්නවා ... 

අපි මොනවා හරි කරමු"  

කියලා පණිවිඩයක් එව්වා..

හරි මල්ලි අපි මොනවා හරි කරමු මට අකවුන්ට් නම්බර්ස් එවන්න 

මම පිළිතුරු දුන්නා

අපේ කාර්ය භාරය

දැන් එළැඹි තිබෙන්නේ අපට කල හැක්කේ කුමක්ද යන්න සිතීමේ වෙලාවයි.  

මා හා මගේ බිරිඳත් .. මුහුණු පොතේ හා බ්ලොග් කියවන අපේ හිතවතුනුත් එකතු කරගෙන අප මින් පෙර සිදු කලාක් මෙන් හැකි උපකාරයක්  කිර්තිගේ පවුලට කලයුතු යැයි හිතුණා. 

ගමේ හිතවතා කිර්තිගේ ළමයෙකුගේ පංති භාර ගුරුවරයා ද වන නිසා  ඔහු හරහා  අපේ සහය  කීර්ති බණ්ඩාරගේ පවුලේ අයට ලැබෙන්න සැලස්විය හැකියි.


ඔබ කිසියම් මුදලක් බැර කළහොත් ඒ බව මගේ මුහුණු පොතෙන්  හෝ මේ බ්ලොග් පොස්ට් එකෙන් දන්වන්න....


කීර්ති බණ්ඩාර මහතාගේ බිරිඳ නිල්මිණි තෙන්නකෝන් මහත්මිය ගේ බැංකු ගිණුමේ විස්තර



මේ අතර බණ්ඩාරවෙල රජ යේ රොහලේ සේවය් කරන අපෙ හිතවත් වෛද්‍යවරයෙක් මේ සිදුවීම ගැන උනන්දු වුණා.
ඔහු තමා හඳුනන  බණ්ඩාරවෙල ඩිපෝවේ සේවක මහතෙකුගෙන්  කීර්ති බණ්ඩාර පවුලේ විස්තර විශේෂයෙන් ඔවුන්ට උදව් කල හැකි ආකාරය ගැන විස්තර අසා තිබුණා.

එහි ප්‍රතිඵලයක් ලෙස කීර්ති බණ්ඩාර මහතාගේ බිරිඳ නිල්මිණි තෙන්නකෝන් මහත්මිය නමට හල්දුමුල්ල මහජන බැංකුවේ ඇති ගිණුමක විස්තර අපේ හිතවතාට ලැබී තිබුණා.


දැන් අප සියලු දෙනාට නිල්මිණි මහත්මියගේ නමට ඇති මේ බැංකු ගිණුමට අපේ සහයෝගය පළ කරන්න පුලුවන්.


ගිණුමේ නම:  T.M. P.W. Nilmini Tennakoon

බැංකු ශාඛාව: මහජන  බැංකුව, හල්දුම්මුල්ල

ගිණුම් අංකය: 195-2-001-7-0008432


රුපියල් සියයකින් හරි කමක් නෑ උදව් කරමු.

මේ මිනිසා කල වීර ක්‍රියාව ඇගයීමට. අපි හැමෝම සුලුවෙන් හෝ උදව් කල විත් ඔහුගේ දරුවන් දෙදෙනාටත් බිරිඳටත් එය ලොකු උදව්වක් ලෙස දැනේවි.


මේ බැංකු ගිණුමේ විස්තර නිවැරදි බව තහවුරු කල මහජන බැංකුවේම සේවය කරන අපේ ලොකු මාමාගේ දියනිය "සුමාලි නංගිට" අපේ ස්තුතිය. එමෙන්ම බැංකු විස්තර මුලින්ම ලබා දුන් බණ්ඩාරවෙල රෝහලේ වෛද්‍ය "සරණ පෙරේරා අය්යා" ටත් ස්තුතියි.

2017/11/22...

දැන් අප සියලු දෙනාට නිල්මිණි මහත්මියගේ නමට ඇති මේ බැංකු ගිණුමටත් අපේ සහයෝගය පළ කරන්න පුලුවන්.

Acc Name: TMPVN Thennakoon, 


BANK: Bank of Ceylon Haldummulla branch, 


ACC NO: 81720917 , 


Branch code: 463


Monday, 18 September 2017

ස්වර්ණා ගේ අමුතු හිසේ කැක්කුම




ස්වර්ණා විවාහක කාන්තාවකි. මැදිවියේ පසු වූ ඇය පාසැල් වයසේ වු දරුවන් දෙදෙනෙකු ගේ මවකි.

ස්වර්ණාගේ සැමියා මෑතක රජයේ රැකියාවකට ඇතුල් වූයේ තරඟ විභාගයකින් සමත් වීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

රැකියාව ලැබීමට  පෙර නිවසේ අසලම පිහිටි කුඹුරු යායේ වගා කටයුතු කල ඔහු රජයේ රැකියාවක නිරත වූ ස්වර්ණාගේ ගේ දොර වැඩ වලටද  උදව් කලේය.

සැමියාගේ නව රැකියාව කාර්යාලයක ලිපිකරු තනතුරකි.

එතෙක් ඇඟ පත වෙහෙසා වැඩ කරමින් සිටි ස්වර්ණාගේ සැමියා බලා ඉඳිද්දී තරබාරු වන්නට පටන් ගත්තේ අලුත් රැකියාවේ තිබූ වැඩ අධික කමත් , රෑ බෝ වන තුරු අතිකාල සේවයේ යෙදීමත් නිසා ඉස්සර මෙන් අත පය වෙහෙසා කරන කිසිදු වැඩක් කරන්නට ඔහු හට වෙලාවක් නැති නිසා විය යුතුය.

එමෙන්ම ඉස්සර මෙන් තම බිරිඳගේ ඉවුම් පිහුම් වලට තබා ලමයින්ගේ වැඩ කටයුතු ගැන  හොයා  බලන්නට වත් ඔහුට වෙලාවක් නොතිබිණි.

සැමියාගේ නව රැකියාවත් ළමුන්ගේ අධ්‍යාපන කටයුතුත් නිසා ස්වර්ණාගේ ජීවිතය  ඉස්සරට වඩා කාර්යබහුල වන්නට විය.

"ඔයා අදත් වැඩ ඇරෙද්දි රෑ වෙනවද?  "

"ඔව් ඔව් මට අද පැය දෙක තුනක් ඕ ටී කරන්න වෙනවා. "

"අද මම පොඩිදුව පන්ති ගෙනියන්නත් ඕනේ.

ලොකුදුවගේ ඉස්කෝලෙ රැස්වීමට යන්නත් තියෙනවා අද"

"හරි හරි ස්වර්ණා  මටත් කන්තෝරුවේ වැඩ ගොඩගැහිලා ඔයා කොහොමහරි යන්න බලන්නකෝ"

සැමියා නව රැකියාව ඉතා උවමනාවෙන් කරන්නෙකි.

ඒ නිසාම  මෑතක සිට ස්වර්ණා කලයුතු වැඩ රාජාකාරි අධික වී ඇති බවවත් ඔහුට නොවැටහේ.

වෙනදාට වඩා වෙහෙස වී  වැඩ කිරීමටත් කිසිවකුගේ උදව්වක් නැතිව ගේ දොර වැඩ කිරිමටත් දැන් ස්වර්ණා ට සිදු වී තිබේ.

අම්මලා තාත්තලා නිතර නිතර ඈ හා කතා කළත් මෙවැනි දුෂ්කරතාවයක් ඇති බවක් ඇය ඔවුන් සමඟ වත් පැවසුයේ නැත.

කාලය හෙමින් හෙමින් ගලා ගියේ ස්වර්ණා  සහ පවුලට තවත් ගැටලුවක් ඇති කරමිනි.

මෙතෙක් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කල ඇයගේ සැමියා හදිසි හෘදය ආබාධයකට ගොදුරු වන්නේ මේ අතරයි.



ස්වර්ණා ගේ ප්‍රශ්න ගොන්නට සැමියා ගේ අනාගත හෘදයාබාධ ඇතිවීමේ අවධානමද එකතු විය.


සැමියාගේ හදිසි රෝගී තත්ත්වය නිසා ඔහුට සතියක් පමණ රෝහල් ගතවී සිටින්නටද සිදු විය.

වෛද්‍ය ප්‍රතිකාර ලබා නිවසට පැමිණි සැමියා පුරුදු පරිදි තම රැකියාව පටන් ගත්තේය.

ලමයින් දෙදෙනා ද ඉගෙනීමේ වැඩ හොඳින් කරගෙන යති.

 ස්වර්ණා ගේ නිවසේ කටයුතු නැවතත් සාමාන්‍ය අතට හැරෙමින් පවතී.

එහෙත් ස්වර්ණාට කිසියම් අමුත්තක් දැනෙන්නට විය.

හිසේ ඇතුලින් ඇති වූ කැක්කුමක් ම යැයි කිවනොහැකි අමුතු ගතියක් ඇයට දැනෙන්නට ගත්තේ මේ අතරයි.

"මගේ ඔලුව රිදෙනවා ඒයි. කැක්කුමකටත් වඩා නිකන් බර ගතියක් වගේ තමයි දැනෙන්නේ . "

ඇය තම හිසේ කැක්කුම ගැන සිය ස්වාමියාට සැලකර සිටියාය.

"පැනඩෝල් දෙකක් අරන් බැලුවේ නැද්ද ? හෙම්බිරිස්සාව වත් හැදෙන්න එනවද දන්නේ නෑ?"

  ඔහු ඇයට යෝජනා කලේ මේ පොඩි ඔලුවේ කැක්කුමක් විය යුතු යැයි සිතමිනි.

"පැන්ඩෝල් , ඩිස්ප්‍රීන් හැම එකම ගත්තා .

දැන් සෑහෙන දවසක් වෙනවා මේ කැක්කුමට.

ඔයාට වැඩත්  වැඩියි , ක්ලිනික් යන්න අරවා මේවා කරදරත් වැඩි නිසා මම කියන්නැතුව හිටියා. "

"එහෙම නම් බලා ඉඳලා හරියන්නේ නෑ ස්පෙෂලිස්ට් කෙනෙක් වත් අල්ලමු.

මම ආරෝග්‍යා එකේ වෙලාවක් ඉල්ලගන්නම්"

මුලින්ම කායික රෝග විශේෂඥයෙක් දෙවනුව ස්නායු රෝග ආදි වශයෙන් බොහෝ වෛද්‍ය වරුන් චැනල් කෙරිණි.

එහෙත් ස්වර්ණා ගේ හිස් කැක්කුම එසේමය.

මේ අතර ඇගේ හිතවත් නැන්දා කෙනෙක් මේ හිසේරදය ගැන දැන ගත්තාය.

ඇයගේ පුතා වෛද්‍යවරයෙකි.

"ඉන්නකෝ දුවේ මම අපේ පුතාගෙන් අහලා බලන්න කවුද මේකට අල්ලන්න හොඳම ස්පෙෂලිස්ට් කියලා ?

 ඔයාලා හොයන්නේ ඊඑන් ටී සර්ජන් කෙනෙක් ගැන් කිව්වා නේද?

මම  අපේ පුතාගෙන් අහලා බලන්නම්කෝ කවුද මේ හිස් කැක්කුම ගැන බලන්න හොඳ කියලා"

මේ ආකාරයට ස්වර්ණා ගේ හිසේ කැක්කුම  ඇගේ හිතවත් වෛද්‍යවරයෙකු  අතට පැමිණියේය.

ඔහු තම මවට පැවසුවේ තමාට  ස්වර්ණා  අක්කා සමඟ පෞද්ගලිකව කතා කල යුතු බවත්, ඉන් අනතුරුව ඇය යායුතු  විශේෂඥ වෛද්‍යවරයා ගැන තීරණය කල හැකි බවත්ය.

මේ වනවිටත් ඈ යායුතු වන්නේ මානසික රෝග විශේෂඥයකු වෙත විය හැකි බවට ඔහු තම මවට ඉඟි පලකලේය.

අනතුරුව එළැඹියේ මේ නෑදෑ දොස්තර මල්ලී සහ ස්වර්ණා අක්කා අතර ඇතිවූ කතා බහයි.

"අක්කේ කොහොමද?

අපේ අම්මා කිව්වා ඔයාට කාලෙක ඉඳලා අඩුවෙන්නේ නැති හිසේ කැක්කුමක් තියෙනවා කියලා?

ඩොක්ටර්ස්ලා කිහිප දෙනෙක් ගාවටම ගියාලු නේද?"

"ඔව් මල්ලී දැන් සෑහෙන කාලයක් වෙනවා. අය්ය ලෙඩ වුණ දවස් වල වගේ තමයි තදටම දැනුණේ."

ඔහුට තමා මවට කල ඉඟිය හරි විය හැකි බව වැටහෙන්නට විය . කෙලින්ම කතාවට බැසිය යුතු යැයි ඔහු තීරණය කලේ ඒ අනුවයි.

අක්කේ මේ කෝල් එකෙන් කතා කරන දේවල් දන්නේ අපි දෙන්නා විතරයි.

අපි කතාකරන දේවල් කිසි දෙයක් මම අම්මාට වත් වෙන කාට වත් කියන්නේ නෑ.

ඔයාගේ හෝ වෙන කෙනෙකුගේ ජීවිතයට අනතුරක් වෙන දෙයක් කියවුණොත් විතරයි මට මේ ගැන තව කෙනෙකුට කියන්න වෙන්නේ .

දැන් මම අහන ප්‍රශ්න වලට ඇත්තම උත්තර දෙන්න ඔයාගෙ ඩොක්ටර්ට කියනවා වගේ හිතලා.

"ඔයාට ඔළුවේ මේ අමුතු ගතිය දැනෙන්න පටන් අරන් කොච්චර කල් වෙනවද?  "

"මාස දෙක -තුනක් විතර"

"ඒක කක්කුමක්ම නෙවෙයි කිව්වනේ? එහෙමනම් මොනවගේද ඔයාට දැනෙන්නේ? "

"කියන්න තේරෙන්නේ නෑ මල්ලී  හරි අමුතු ගතියක් "

"එහෙමනම් මම මෙහෙම ඇහුවට කලබල වෙන්න එපා මට ඇත්තටම ඔයාට දැනෙන දේ දැනගනන ඕනෑ . ඒකයි මම මේ ප්‍රශ්න අහන්නේ."

"ඔයාට තද කණගාටුවක් ඔක්කොම එපාවෙලා වගේ හැඟීමක් දැනෙනවාද? "

" ඔව් මල්ලි මට එහෙම දැනෙනවා "

" භය හිතෙන දේවල් දැනෙනවද? මෙහෙම ඉන්නවට වඩා හොඳයි මැරිලා ගියානම් වගේ කියලා එහෙම හිතෙන ගතියක් ?"

"ඔව් ඔව් එහෙමත් හිතෙනවා . කිසිදෙයක් කරන්න හිතෙන්නේ නෑ . ඔක්කොම එපා වෙලා වගේ හිතෙනවා. "

"මම මෙහෙම ඇහුවට මොකුත් හිතන්න එපා මම හිතන රෝග තත්තවයද තියෙන්නේ කියලා දැනගන්නයි අහන්නේ
මහත්තයා එක්ක එකතු වෙන්න වත් වැඩි කැමැත්තක් නෑ වගේද හිතෙන්නේ "

" හරියට හරි මල්ලී ඒකටත් මේ මාස දෙක තුන පුරාම කිසි කැමැත්තක් නැති ගතියක් තමයි දැනුනේ "

"ඔයා කිව්වනේ මැරිලා ගියා නම් හොඳයි කියලා හිතුණා කියලා  ඒක කරන්නේ කොහොමද කියලා හිතල බැලුවද ? සැලසුම් මොනවා හරි සකස් කරනවා වගේ ?"

" නෑ .. මට නිතර නිතර එහෙම හිතෙන කොට භය හිතුණා . ඒකයි මම අය්යට කිව්වේ මගේ ඔලුවේ අමුතු ගතියක් තියෙනවා කියලා "

"මට හිතෙන්නේ ඔයාට විශාදය (depression ) කියන තත්ත්වය වගෙයි ඇතිවෙලා තියෙන්නේ .

ඒක මොළයේ රසායනික ද්‍රව්‍ය වල වෙනස් කමක් සිදුවිමෙනුයි ඇතිවෙන්නේ .

මේකත් අපිට ශරීරයේ ඇති වන ලෙඩ වගේම එකක් .

හැබැයි රසායනික වෙනස් කම බලපාන්නේ අපේ මනසට .

ඒ නිසා තමයි ඔය ඔයාට ඔය අධික කණගාටුවක් , හැමදේම එපා වෙලා වගේ දැනීමක් වගේම  සියදිවි හානි කරගන්න එක වඩා හොඳයි වගේ දේවල් දැනෙන්නේ .

මේකට  මානසික රෝග විශේෂඥකෙනෙක් මුණ ගැහෙන ඒකයි කරන්න ඕනේ .

මම දන්නා කෙනෙක් ඉන්නවා .

 එයා කෙලින්ම ගිහින් හම්බවෙලා කතා කරන්න .

එයා ඔක්කොම කරලා දෙයි.

තව දෙයක්,  ඔය වගේ  ලෙඩක් තියෙනවා කියලා අනික් අයට කියන්න  ගොඩක් මිනිස්සු කැමති නෑ.

ඒත් ඔයාට සමීප කිහිප දෙනෙක් මේක දැනගන්න එක හොඳයි.

 විශේෂයෙන් ඔයාගේ මහත්තයයි අම්මා තාත්තා දෙන්න වගේ "

මේ සාකච්චාවෙන් පසුව  ස්වර්ණා මානසික යෙකු වෙත යොමු වූ අතර ඇයගේ  මගපෙන්වීම යටතේ  ප්‍රතිකාර පටන් ගැනුණි.

ඇයගේ සේවා ආයතනයෙන්   ස්වර්ණාට නිවාඩු ලබා ගැනීමට අවසර ලැබුණි ( වැළඳුන රෝගය කුමක්දැයි ඔවුන්ට පැවසීමට අවශ්‍ය වුයේ නැත ).

සති කිහිපයක් ප්‍රතිකාර ලබද්දී ඇයගේ හිසේ තිබු අමුතු ගතිය අඩු වූ අතර ඇය නැවතත් පුරුදු පරිදි වැඩට ගියාය .


විශාදය ඇති බව දැනගන්නේ කොහොමද  ( ඊළඟ කොටසින්) 

Saturday, 26 August 2017

මා කියූ පාසැල් ගී



මම බාලාංශයේ සිට තුන්වන ශ්‍රේණිය දක්වා ගියේ අපේ ගමේ ඉස්කොලේ වු බණ්ඩාරවෙල බ/කිරිඔරුව විද්‍යාලයට.. 

ඊයේ රාත්‍රී හදිසියේම ඒ ඉස්කොලේ යද්දී අපි කියපු පාසැල් ගීය මතක් වුණා....

සැරදේවා!! සැරදේවා!!
වොරැඳේවා !! වොරැඳේවා !!
බ/කිරිඔරුව විදුහල් මව පේ...
ආසිරි ලබා ගෙනේ --ආසිරි ලබා ගෙනේ -
ගාමිණි ගජබා මහ පැරකුම්බා
පෙර විසු හෙළයන් දිය දදබැන්දා
ඒ පෙර හෙළයන් ගිය මඟ පා
සුරු විරු දරුවන් බිහි කරවා..
දෙස බස හා ...
රැස සඳහා
සැරදේවා!! සැරදේවා!!
වොරැඳේවා !! වොරැඳේවා !!
බ/කිරිඔරුව විදුහල් මව පේ...
ආසිරි ලබා ගෙනේ --ආසිරි ලබා ගෙනේ....





දෙවෙනියට ( හතර සහ පහ ශ්‍රේණි දෙකේ/ශිස්‍යත්වේ සමත්වෙන තෙක්) ගියේ බණ්ඩාරවෙල ධර්මාශෝක විද්‍යාලයට . ඒ කාලේ ඒ ඉස්කොලේ හැඳින් වුණේ බණ්ඩාරවෙල කනිෂ්ඨ ද්වීතියික විද්යාලයය යන නමින්... මේ එහි පාසැල් ගීතයේ මුල් හරිය...

සිරි දැරු ලකඟන නලලට තිලකය වන් සුන්දර ඌවේ..... බණ්ඩාරවෙල යායේ... 




තුන් වෙනි සහ අවසානයට ගියේ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්යාලයට  ( හය ශ්‍රේණියේ සිට උසස්පෙළ සමත් වී විශ්ව විද්‍යාලයට යන තෙක්)



මේ එහි පාසැල් ගීයේ මුල් හරිය...

බැති කුසුම් පුදා - අදරින් සැමදා

ඔබෙ පා නමදිමු - දොහොත් නගා.....

වර්තමානයේ මේ පාසැල් තුනම තිබෙන ප්‍රදේශ උමා ඔය බහු කාර්ය යෝජනා ක්‍රමයේ ඵල විපාක නිසා ජල හිඟයට සහ නාය යෑම් ආදී තර්ජන වලට මුහුණ දීලයි තියෙන්නේ..